11 March 2017

“අපේ හිත් ආදරයෙන් බැඳුණා” – වික්ටර් රත්නායකයන්ගේ (Victor Rathnayake) යොවුන් බිරිඳ කතා කරයි

වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත පිළිබඳව පසුගිය කාලයේ සමාජ ජාල මාධ්‍ය අතර දැඩි කතාබහක් ඇති වුණා.

වික්ටර් රත්නායකයන්ගේ යොවුන් බිරිඳ හෂිනි අමේන්ද්‍රා රත්නායක මේ සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පතට පළ කළ අදහස් පහතින් කියවිය හැකියි.

“අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.

මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.

මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.

මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි මගෙයි සම්බන්ධය ඉව වැටුණාම ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා.

මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.

මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා. අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.

මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.

ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.

මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­තියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.

ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.

මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.
අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැමතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.

Source : Silumina

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...