නකල්ස් කඳුවැටියේ උස ම ගමක් ලෙස සැලකිය හැකි ගලමුදුන ගම මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ ඉහළකින් තමයි පිහිටා තිබෙන්නේ. උඩරට රාජධානි කාලේ පටන් පැවත එන පුරාණ ගම්මානයක් වන එහි සම්ප්‍රදායික හර පද්ධතියක් තවමත් දැකගත හැකියි. මීමුරේ මෙන් වැඩි දෙනෙක්ගේ අවධානයට ලක්නොවුණු මේ දුෂ්කර ගම්මානය කඳු මුදුනක් මත පිහිටි නිසා ගලමුදුන කියලා කියනවා. අදටත් කිලෝ මීටර් 8ක් පා ගමනින් යා යුතු ගලමුදුන ගමේ තොරතුරු සොයා ගිය චාරිකාවක් තමයි මේ. ගමේ තවමත් පුරාණ කාලෙ වගේ සරල ජීවිතයක් ගෙවන ගම්මුන් ජීවත් වෙනවා. මාර්ග දුෂ්කරතා නිසා මේ ගැමියන්ට හැමදා ම ලොක්ඩවුන් ජීවිතයක් ගත කිරීමට සිදුවෙලා.
දුම්බර ගම්
වර්ග කිලෝ මීටර් 180ක් විශාල (හෙක්ටයාර් 21000ක්) දුම්බර හෙවත් නකල්ස් වනයේ තැන තැන හුදකලා ගම් ගණනාවක් පිහිටා තිබෙනවා. එවැනි ගම් ගණන 86ක් පමණ පවතින බව සැලකෙනවා. දුම්බර කඳුවැටියේ ගම් ගැන කියන කොට වැඩිදෙනෙක්ගේ මතකයට එන්නේ මීමුරේ. දැන් මීමුරේ දක්වා මාර්ගයක් සකස් කර තිබෙන නිසා ගැමියන්ගේ අපහසුතා තරමක් දුරට මඟහැරිලා. දුරකථන සංඥා ඇන්ටෙනා ද එ'ගම තිබෙනවා. ඊටත් වඩා දුෂ්කර ගමක් තමයි ගලමුදුන කියන්නේ.
මීමුරේ හැරුණු විට වල්පොලමුල්ල, රණමුරේ, කයිකාවල, කළුගල, දෙහිගොල්ල මෙහි හුදකලා ගම් කිහිපයක් පමණයි. මේ ගම් එකිනෙකින් ඈත් ව වනාන්තරවලින් වෙන් ව පිහිටා තිබුණද, ගම්වල දැකිය හැකි සුවිශේෂ ම ලක්ෂණය වන්නේ ඒ ඒ ගම් අතර ආවාහ-විවාහ ඥාති සබඳතා අතීතයේ සිට අද දක්වා ම දකින්නට හැකි වීමයි.
ගලමුදුන ගම
මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තමයි මේ අති දුෂ්කර ගම අයත් වන්නේ. පැමිණීමට ඇති අපහසුව නිසා පසුගිය කාලෙ සංචාරකයන්ගෙන් නම් ඒ ගම බේරිලායි තිබුණේ. ගලමුදුන ගම පිහිටා ඇත්තේ නකල්ස් ජෛවගෝල රක්ෂිතයේ නැගෙනහිර සිමාවට ආසන්න ව නකල්ස් ස්වාරක්ෂක කලාපය තුළයි.
එක් පසෙකින් වික්ටෝරියා රන්දෙණිගල අභය භූමියට එය මායිම් වෙනවා. යහන්ගල සහ ලකේගල යන කඳු අතර තමයි මේ ගම පිහිටා තිබෙන්නේ. උඩගල්දොබොක්ක එයට යාබද ගමයි.
රඹුක්වැව, දම්මන්තැන්න, දන්දෙණිකුඹුර, පොත්තටවෙල, මීගහමඩ මේ ගමට ආසන්න වනගත ගම්. ගලමුදුන ගම උඩරට රජ කාලේ ආරක්ෂක රහසිගත ගමක් ලෙස ප්‍රයෝජනයට ගත් බව ජනප්‍රවාදයේ පැවසෙනවා.
පවුල් තිස්පහක සාමාජිකයක් 120ක් මේ ගමේ ප්‍රාථමික පාසලක් ද පිහිටා තිබෙනවා. පාසලේ ළමයින් 35ක් සිටින අතර ගුරුවරුන් තිදෙනෙක් එහි සේවය කරනවා. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු සමහරුන් පාසල් යාමට උනන්දුවක් නොදක්වන්නේ අහලපහළ පාසලක් නොමැති වීම නිසයි. මේ නිසා ළමයින්ගේ පාසල් අධ්‍යාපනය කඩා වැටී ඇති බවයි පෙනෙන්නේ.
හදිසි අනතුරු මෙන් ම හදිසි අසනීපවලට ගොදුරු වූ රෝගීන්ගේ ජීවිත අකාලයේ අහිමිවීමටත්, එළවළු ආදිය විකුණා ගැනීමට වෙළඳ පොළකට රැගෙන යාමටත් මාර්ග පහසුකම් නොමැතිවීම ගමට විශාල බාධාවක් වෙලා. දුරකථන සහ විදුලිබල පහසුකම් ද මේ ගමට නැහැ.
ගමට යන හැටි
ගලමුදුනට ගමන් කිරීම නම් ලේසි නැහැ. මහියංගනයේ සිට හසලකට පැමිණ හෙට්ටිපොළ පාරේ කොලොන්ගොඩට ගොස් ගමට ගමන් කළ හැකියි. මේ පාර ඇදීයන්නේ හීන්ගඟ ඉවුර දිගේ.
හසලක සිට ගමට දුර කිලෝ මීටර් 15ක්. උඩුදුම්බරින් සුළුගුණේට ගිහින් එතනින් අඩි පාරක් දිගේ උඩගල්දෙබොක්ක කියන කඳුකර ගමට ගොස් එහි සිට කඳු තරණය කිරීමෙන් ද මේ ගමට ළඟාවිය හැකියි.
උඩගලදෙබොක්කේ සිට තවත් කිලෝ මීටර් 3ක් දුරින් තමයි ගලමුදුන තිබෙන්නේ. ගමට පියමං කළ යුතු වන්නේ අලිඇතුන් ගැවසෙන වනය හරහා ඇළදොළ පසුකරමින්. ගමට නුදුරින් පිහිටි යහන්ගල පර්වතය අලංකාර දසුනක් මවා පානවා. වාහනයක් තබා පාපැදියක්වත් මේ ගමට රැගෙන යන්න බැහැ.
අඩි පාරේ ඇතැම් තැනෙක කුඩා හා විශාල දොළ පාරවල් පිහිටා තිබෙනවා. ගලින් ගලට පනිමින් ගස්මුල් මඟහරිමින් තමයි මේ ගමන යායුත්තේ. මහා වැසි කාලයට විශාල දොළ පාරවල් උතුරා යන නිසා ගැමියන් නගරයට ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ. ජලය බැස යනතෙක් කඳු මුදුනේ ගමේ ම 'ලොක්ඩවුන්' වෙන්න සිදුවෙනවා.
ගමට මහ පාරේ සිට කිලෝ මීටර් 12ක් පා ගමනින් යා යුතුයි. එහි මුල් කිලෝ මීටර් 4 ට්‍රැක්ටර් වැනි වාහනයක් ගමන් කළ හැකි කඩතොලු සහිත ගුරු පාරක් වුවත් ඉන්පසු කිලෝ මීටර් 8ක් පයින් ම ගමන් කළ යුතු වෙනවා.
පොළට ගොස් එන්නට මුළු දවසක්
ගලමුදුන ගම්වාසීන් තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට විල්ගමුව,කොලොන්ගොඩ, හසලක, හඳුන්ගමුව වැනි ආසන්න නගර කරා යායුතු වන්නේ කැලෑව මැදින් අඩි පාරවල් දිගේ පැමිණීමෙන්. මේ නගරවල සති පොළ පැවැත්වෙන දිනයට තමයි ඔවුන් වැඩිපුර එහි යන්නේ. ඒ ගමනේ දී සුළුගුණේ අසලින් ගලා යන හීංගඟට බැස ගඟ හරහා පා ගමනින් එගොඩ විය යුතුයි.
ඒ, ගමෙන් ලබාගත නොහැකි පාන්පිටි, කිරිපිටි, සීනි, තේකොළ, භුමිතෙල්, ලුණු, මිරිස් ආදී දේ ලබාගන්නටයි. නැත්නම් ඇඳුමක් මිල දී ගැනීමටයි. එය දවසක් ගතවන වැඩක්. උදේ පාන්දරින් පිටත්වුණහ ම හැන්දෑවන විට තමයි ආපසු එන්න ලැබෙන්නේ.
හුන්නස්ගිරිය, මීමුරේ ඉහළ කඳුකරයෙන් ආරම්භ වී ගලා බසිනා හීං ගඟේ ජල මට්ටම නොසිතූ ලෙස විටින් විට අඩු වැඩි වීමේ හේතුවෙන් මෙම ගමන ද විශ්වාසදායි ගමනක් වන්නේ නැහැ. ජලය වැඩි වූ දිනවල දී ජල මට්ටම අඩු වන තෙක් ගං ඉවුර ටවී රැඳී සිටීමට ඔවුන්ට සිදුවෙනවා.
ගම්මුන්ගෙන් බහුතරයක් ඉඳහිටවත් නගරයකට යන්නේ නැහැ. පසුගිය කාලයේ මේ ගඟ හරහා පාලමක් ඉදි කළත් එය දෙවසරකට පසුව ගංවතුරට හසු වී කඩාගෙන ගියා. ඊට පසු යළිත් එය ඉදිවුණේ නැහැ.
අව්‍යාජ ජන දිවිය
නගරයේ සංකීර්ණ සමාජයෙන් ඈත් ව පිහිටීම නිසා දෝ මේ ගම්මුන් තුළ ඇති අව්‍යාජ සිනහව ගම තවත් සුන්දර කරවනවා. මෙහි ගැමියන් කිතුල් රා නිපදවීම, හකුරු තැනීම, බෝග වගාව, සහ එනසාල් වගාවත් සිදු කරනවා. බොහෝ නිවාස ඉදිකර තිබෙන්නේ කටුමැටිවලින්. සැකිල්ල තනා තිබෙන්නේ වනයේ දැවදඬු, කැලෑ වැල්වලින් ගැටගැසීමෙන්. නිවෙස්වලට මානා හෝ ඉලුක් සෙවිල්ලා තිබෙනවා. ගඩොලින් තනපු නිවාස කිහිපයක් ද දැකගත හැකියි.
නිවෙස්වලට විදුලි බලය නොමැති අතර පසුගිය කාලයේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ගමට ක්‍රියාත්මක වුණා. නිවෙස් කිහිපයකට සහ පාසලට සූර්ය විදුලිය ලැබී තිබෙනවා. ඉවුම් පිදුම් කටයුතු කරන්නේ දර ආධාරයෙන්. භුමිතෙල් කුප්පි ලාම්පුවලින් තමයි රාත්‍රියට ආලෝකය ලබාගන්නේ.
ගමේ කාන්තාවන්- youtube.com
ගලමුදුනේ ගැමියන් කෘෂි කර්මාන්තයෙන් දිවිගෙවන අතර එනසාල් වගාව ද කිතුල් ගසින් කරන නිෂ්පාදන ද නිපදවනවා. ඔවුන් සහල් ලබා ගන්නේ තමන්ගේ කුඹුරුවල අස්වැන්නෙන්. එම හෙල්මළු ලියැදි කඳුබෑවුම්වල දැකගත හැකියි. බත් මෙන් ම කුරහන් තලපත් ආහාර වේලට අඩංගු වෙනවා. බඩඉරිඟු, කුරහන් ආදිය දුම්මැස්සේ අටුවල අසුරා ඇත්තේ එක පොකුරක් ලෙස එල්ලා තැබීමෙන්. ළිපෙන් එන රස්නයට ඒවා වියළී කල්තබාගත හැකි සේ සකස් වෙනවා.
ඊට අමතර ව කොස්, දෙල් ආදී ආහාර ද බතල, මයියොක්කා, හිඟුරල, රාජාල වැනි අල වර්ග ද ආහාර වේලේ සුලබයි. ඉස්සර නම් වනසතුන් දඩයමත් දකින්න ලැබුණා. අද නම් එය කලාතුරකින් තමයි සිදුවන්නේ. සහල් කෙටීම සිදුකරන්නේ වීමෝල්වලින් නොව වංගෙඩිය සහ මෝල්ගස ආධාරයෙන් නිවසේදී ම යි.
ගමේ සරල නිවාස - janithck.wordpress.com
ගමේ බොහොමයක් නිවෙස් කටුමැට්ටෙන් ඉදිකර ඉලුක්, මානා හෝ පිදුරු සෙවිලි කර තිබෙනවා. බිත්තිවල මකුළු මැටි ආලේප කර ගෙබිමට ගොම මැටි ආලේප කර තිබෙනවා. මෙහි එකදු නිවෙසකවත් ගෑස් හෝ විදුලි උදුන් භාවිත කරන්නේ නැහැ. සියලු ඉවුම්පිහුම් කටයුතු සිදුවන්නේ දර ආධාරයෙන්. දර, අවට වනයෙන් පහසුවෙන් සොයා ගත හැකියි. නිවෙස් අමදින්නේ කැලෑවේ වැවෙන කොරකහ වැනි පඳුරු වර්ග කපා වියළා ගත් ඉලපත්වලින්. පොල්කොළ හා පන්වර්ගවලින් සැකසූ වට්ටි, පෙට්ටි, පැදුරු, මාගල් නිවසේ භාවිතයට යොදාගන්නා ආකාරය දැකිය හැකියි. මේ නිසා එහි ප්ලාස්ටික් භාවිතය අවමයි.
ගමට ක්‍රීඩා පිටි කිසිවක් නැහැ. ක්‍රීඩා පිටි තැනීමට සමතලා බිමක් සොයාගැනීමත් ලේසි නැහැ. ඔවුන් සෙල්ලම් කරන්නේ අස්වනු කපා පාගාගත් ගමේ වෙල්යායේ. උදේ පටන් රෑවන තුරු වගාබිම්වල, හේන්වල වැඩකරන ගම්මු හැන්දෑවට දොළ පාරකින් ස්නානය කර කාබී අඳුර වැටෙද්දි නින්දට යාම සිරිතක්. ගමේ කිහිපදෙනකු ආගිය තොරතුරු කතාකරමින් බුලත් විටක් කෑම තමයි ඔවුන්නේ විනෝදය වන්නේ. එකිනෙකා අතර රණ්ඩු දබර කෝන්තර හරි ම අඩුයි. සාමුහිකත්වයෙන් එකිනෙකාගේ වැඩට උදව්පදව් වෙමින් තමයි ගලමුදුන ගම්මුන් ජීවත් වන්නේ. මෙවැනි දුෂ්කර ගමක ජීවත්වීමේ අවදානම මඟහරවා ගන්නට සාමූහික දිවිය උදව් වෙනවා.
අප මෙයට පෙර පළ කළ දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන පිළිබඳ ලිපියත් ඔබට මෙතැනින් කියවන්නට පුළුවන්.
(Courtesy: Roar)
No comments:
Post a Comment