28 April 2017

මතකයෙන් ගිලිහුණු පැරණි අවුරුදු ක්‍රීඩා

කාලය ඉක්මණටම ගෙවිලා ගිහින් අළුත් අවුරුදු මාසෙත් උදා වුණා. හැමදාම වගේ මෙදා සැරෙත් අවුරුදු ක්‍රීඩා වලට සහභාගි වෙලා විනෝද වෙන්න ඔයාලාත් ආසාවෙන් ඇති. ඒ අතරෙ අපි හිතුවා මතකයෙන් ගිලිහුණු පැරණි අවුරුදු ක්‍රීඩා ගැන පොඩි විස්තරයක් අරගෙන එන්න.

මේවර කෙළිය

මේවර කෙළිය කාන්තාවන්ගේ ක්‍රීඩාවක්. මේවරයෙන් කණ පළඳන ආභරණයක්, වළල්ලක් හෝ මෙහෙකරුවෙක් නිරූපණය වෙනවා. කාන්තාවක් තම මේවරයා දුටුවාදැයි මිතුරියන්ගෙන් ප්‍රශ්න කරන අතර තමන් එය නොදුටු බවට පිරිස දිවුරනවා. නමුත් එය සඟවාගෙන සිටින්නේත් ඔවුන් විසින්මයි. මෙම සිදුවීම සංවාදමය ගීතයක් ලෙස ඉදිරිපත් වෙනවා.

පනා හැංගීම

සාමාන්‍ය ව්‍යවහාරයේදී ලේන්සු හැංගීම සහ හවරි හැංගීම ලෙස හඳුන්වන මෙම ක්‍රීඩාවෙන්  කිසියම් භාණ්ඩයක් සඟවා එය සෙවීමට දරන උත්සාහය නිරූපණය වෙනවා.

    උකුණො වැටෙන පනාවා.

    ලේඬි වැටෙන පනාවා.

    අපි නොදිටිමු පනාවා.

    දියන් නෑනෝ පනාවා.

එළුවන් කෑම

එළුවකු සහ කොටියෙකු අතර ඇතිවන දෙබසක අකාරයෙන් සිදුවන මේ ක්‍රීඩාවේ පිල් දෙකක් තියෙනවා. මෙහිදී තරඟයේ ස්වභාවය අනුව වචන උස් පහත් කරමින් ගායනය සහ රංගනය සිදු වෙනවා.
 
කජු ක්‍රීඩාව

පුංචි දරුවන් අතර ජනප්‍රිය මෙම ක්‍රීඩාවට කජු ඇට හයක් ප්‍රමාණවත්. මෙහිදී කජු ඇට සියල්ල උඩ දමා, බිම වැටුණු විට ඒවා අතර ඇඟිල්ලකින් ඉරක් අඳිනවා. කජු ගෙඩිවල නොගෑවෙන ලෙස ඇඟිලි යැවූවොත් ඒ කජු එම පිලට අයිති වෙනවා.

බුහු කෙළිය

මෙම ක්‍රීඩාව මට්ට කැඩීම, ජල්ලි ගැසීම යනුවෙනුත් හඳුන්වනවා. මෙහිදී බෝලය සඳහා යොදා ගන්නේ උණු අළු පල්ලේ දමා තම්බා ගත් ලොකු දොඩම් ගෙඩියක් හෝ ජම්බෝල ගෙඩියක්. උඩු පිල සහ යටි පිල ලෙස දෙපිලකට බෙදී ක්‍රීඩා කරන අතර දෙපිලම උත්සාහ කරන්නේ පිල් කණුව රැක ගනිමින් බෝලය අල්ලා ගැනීමටයි.

පොරෝ සෙල්ලම

මේක කවි සෙල්ලමක්. පිල් දෙකකට බෙදිලා කවියෙන් අසන ප්‍රශ්න වලට කවියෙන්ම උත්තර දෙනවා.

    ගොඩේ මන්නේ මොටදෝ

    -පොරොව ගෙනෙන්නට නොවෙදෝ

    පොරව ගෙනෙන්නේ මොටදෝ

    -ගහක්‌ කපන්නට නොවෙදෝ

ඉනිවැට පෙරළීම

කාන්තාවන් සහ දරුවන් අතර ජනප්‍රිය ඉනිවැට පෙරලීමේදී, ශක්‌තිමත් වැටක්‌ ගොනුන් විසින් කැඩීමට දරන උත්සාහය වළක්‌වන්නට පිරිසක්‌ කටයුතු කිරීම සංවාදාත්මකව ඉදිරිපත් වෙනවා. එක් පිලක් ගොනුන් ලෙසත් අනෙක් පිල වැට ලෙසත් ක්‍රීඩා කරනවා.

කොප්පර කොප්පර පිපිඤ්ඤා

බොහෝ දරුවන් පිරිසකට සහභාගී විය හැකි මෙම ක්‍රීඩාව ආරම්භයේදී පිරිස රවුමට හිට ගන්නවා. අතු කැබැල්ලක් ගත් අයෙක් රවුම වටේ යන අතර රවුමේ සිටින අය සහ ඔහු අතර සංවාදයක් ගොඩ නැගෙනවා.

රවුමේ අය “කළගෙඩි කළගෙඩි” යැයි කියූ විට වටේ යන්නා “බෝතල බෝතල” කියමින් රවුම වටේ දුවන අතර අත්ත තවෙකෙකුගේ අතේ තබනවා. වටයක අවසානයට පෙර අත්ත හිමි තැනැත්කා, වටේ යන්නා ලුහුබැඳීම හෝ අත්තෙන් පහරදිම කළ යුතුයි.

චක්‌ගුඩු පැනීම

චක්ගුඩු පැනීම වැව් තාවුල්ලක හෝ අස්වනු නෙලාගත් වෙල් යායක සිදු කරනවා. භූමියේ සීමා දෙකක් ලකුණු කරගෙන හරි මැදින් කොටස් දෙකකට බෙදා ගෙන මුලින්ම ක්‍රීඩා කරන පිල චක්ගුඩු ගුඩු කියමින් ප්‍රතිවාදී පිලේ සීමාවට ගොස් ඔවුන්ට පහර දී තමන්ගේ සිමාවට දුවගෙන එනවා. පහර කෑ ක්‍රීඩකයා පරාජයට පත්වන අතර පහර දුන්නාට පසු ගුඩු ගුඩු කී ක්‍රීඩකයාත් පරාජය වෙනවා.



කඹ ඇදීම

අද කාලෙත් බොහොම ජනප්‍රිය මේ ක්‍රීඩාව මුහුදු ගමන් ගිය නාවිකයන්ගෙන් ආරම්භ වූ බවයි විශ්වාස කරන්නේ. මෙය ඔවුන් ව්‍යායාම සහ විනෝදය පිණිස කළ බවට සඳහන් වෙනවා.

රබන් ගැසීම

රබාන නිර්මාණය වුණේ ඊශ්වර දෙවියන් දුටු සිහිනයකට අනුවයි. ක්‍රීඩාව ආරම්භ වීමට පෙර රබන් පදයකින්ම බුදුන්ට සහ දෙවියන්ට වැඳ අවසර ඉල්ලනවා. රබන් සුරල් වැයීම, අත් මාරු කිරීම සහ තාලන් ලෙස රබන් වාදනයේ පියවර‌ තුනයි.

රබන් සුරල් වැයීමේදී රබාන වටා හය දෙනෙක් වාඩි වෙනවා. තිදෙනෙක් රබන් වයන අතර අනෙක් තිදෙනා ඒ තාලයට රංගනයක් ඉදිරිපත් කරනවා. අත්මාරු කිරීමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සහභාගි වෙනවා. එකිනෙකාගේ අත්වලට ගසමින් සංවාදමය ස්වරූපයෙන් සිදුවන මෙය බොහෝ විනෝදජනකයි. තාලන් වලදී මුලින් ගීතයක් ගායනා කර පසුව එය රබානෙන් වාදනය කරනවා.

ඔන්චිල්ලා පැදීම

වයස් භේදයක් නැතුව හැම දෙනාම ඔන්චිල්ලා පදින්න කැමතියි. දෙපට, කූඩු , වැල්, කතුරු , මල් සහ බඹර ලෙස ඔන්චිල්ලා වර්ග ගණනාවක් තියෙනවා. ඔන්චිලි පදින විට කියන ගායනාවන් ඔංචිලි වාරම් හෝ කවි වාරම් ලෙස හඳුන්වනවා.

අතක පතක ක්‍රිඩාව

මේ ක්‍රීඩාවටත් දරුවන් රැසකට සහභාගී විය හැකියි. පිරිසේ නායකයා තමන්ගේ වටේ ඉඳගෙන සිටින අයගේ අත්ලට තට්ටු කරමින් මෙසේ කියනවා.

    “අතක පතක සොර සූරින් අනගි පැත්ත පැඟිරි බිංදු ඉරි ඉරිගි කොත්තමල්ලි කොහිද සීයේ ?”

වැකිය අවසන් වේගෙන යාමේදී තට්ටු කරන අත් ඇත්තා ක්‍රීඩාවෙන් ඉවත් වන අතර අවසානයේ ඉතිරි වන ක්‍රීඩකයාට “අතව් කිතව් පහුරු කිතව් අපි දිනුවෝ” කියමින් අත ඉවතට ගන්නා තුරු පහර දෙනවා.



පොර පොල් ගැසීම

දේව සංකල්ප මත ගොඩනැඟී ඇති මෙම ක්‍රීඩාවෙන් පත්තිනි දේවියගේ ආරක්ෂාවත්, වැස්ස සහ සශ්‍රීකත්වයත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ගසෙන් ඉබේ වැටෙන තැඹිලි හෝ පොල් යොදාගත් අතර ක්‍රීඩා කළ භූමියේ නා, බෝ හෝ නුග ගසක් බොහෝ විට දක්නට ලැබුණා. මෙහිදී භාවිතා වන පොල්, යවන පොල් සහ ගහන පොල් ලෙස වර්ග කරනවා. මේවා බිඳින්නට ඉතා අපහසු අතර ගැසීමට යොදා ගන්නා පොල් ගෙඩිය අත් ගෙඩිය ලෙස හඳුන්වනවා. නිපොල් යනුවෙන් හැඳින්වෙන සාමාන්‍ය පොල් ක්‍රීඩාවට යොදා ගන්නේ නැහැ.

මෙය කෙම්මුර දිනයකදී (බදාදා හෝ සෙනසුරාදා) ආරම්භ කර එක දිගට දින 7ක් පවත්වන අතර නොබිඳී පොල් ඉතිරිවන පිල ජය ගන්නවා. අවසන් දිනයේදී පොල් පිටියේ ගම්මඩු උළෙලක් පවත්වා දානමය පිංකමකින් අවසන් කරනවා.



අං කෙළිය

මෙයත් වර්ෂාව බලාපොරොත්තුවෙන් පත්තිනි දේවිය උදෙසා කරන ක්‍රීඩාවක්. පිරිමි පාර්ශවය පමණක් මෙය ක්‍රීඩා කරන අතර ඔවුන් තරඟයට පෙර මස් මාංශයෙන් වැලකී සිටිනවා. මෙහිදී අඟක් ලෙස භාවිතා කරන්නේ ගසක අත්තක්. අං පටලවාගෙන කරන මෙම ක්‍රීඩාවේදී ඒවා කැඩී නොයන ලෙස තබාගත යුතුයි. අඟ නොකැඩුණු පිරිස ජය ගන්නා අතර ඔවුන් මඟුල් බෙර වයමින් ගම වටා යනවා. අවසානයේදී දේව පූජාවක් සිදු කර තරඟය නිමා කරනවා.
 
පංච කෙළිය

පංච දැමීමත් පත්තිනි දේවියගේ ආශිර්වාදය ලැබෙන ක්‍රීඩාවක්. මෙය දෙදෙනෙකුට හෝ කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැකියි. එක් පිලක ක්‍රීඩකයන් ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් වීමත් අනිවාර්යයි.

ක්‍රීඩාව ආරම්භ කිරීමට ඔණ්ඩුවක් හෙවත් පංචයක් ලැබෙන්න ඕනි. ඔණ්ඩුවක් ලෙස හඳුන්වන්නෙ එක් බෙල්ලෙක් පමණක් උඩුකුරුව සිටීමයි. පංච පෙතේ අවසන් කොටුව ජලය ලෙස හැඳින්වෙන අතර ඉත්තන්ව ජලයෙන් එගොඩ කළ හැකි වන්නේ ඔණ්ඩුවක් ලැබුණු විට පමණයි. මුලින්ම ඉත්තන් එගොඩ කරන පිල දිනුම ලබා ගන්නවා.



කල්ලි කෙළිය

මෙම ක්‍රීඩාවට ක්‍රීඩකයන් දෙදෙනාගේ සිට දොළහ අතර ප්‍රමාණයක් ‌ සහභාගි වෙනවා. රෑ කල්ලි සිං කෙලිය, රෑ ගුඩු පැනිල්ල වැනි නම් වලිනුත් හැඳින්වෙන කල්ලි කෙළිය සඳහා යොදා ගන්නා ලී කල්ලි ලීය සහ කුට්ටා ලීය නම් වෙනවා. කුඩා වලක් හාරා කුට්ටා ලීය එහි තබා කල්ලි ලීයෙන් එය ඉවතට විසි කරනවා.
ඔළිඳ කෙළිය

ඔළිඳ කෙළිය කාන්තාවන්ගේ ක්‍රීඩාවක්. කාන්තාවන් හතර දෙනෙක් ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය වෙනකම්ම අත්වැල් ගායනා කරමින් කරන මේ ක්‍රීඩාව ගණිතමය ක්‍රමයකට සිදුවෙනවා. ඔළිඳ පුවරුව මුතු පුවරුව ලෙසත් ඔළිඳ කොලොම්බුව ලෙසත් හැඳින්වෙනවා.


මේ විස්තර කෙරුණු හැම ක්‍රීඩාවකටම ඒ හා සම්බන්ධ කවි සාහිත්‍යයක් තියෙනවා. මීට අමතරව තවත් පැරණි අවුරුදු ක්‍රීඩා ඔයාලා දන්නවා නම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

මූලාශ්‍ර- Roar

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...