11 June 2019

රෝහල් අධ්‍යක්ෂකවරයාට එරෙහිවු සේවකයෝ


අනුරාධපුර ශික්ෂණ  රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස පසුගියදා රාජකාරි භාරගත් වෛද්‍යවරයෙකුගේ අමානුෂික ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් ශික්ෂණ  රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් හය දෙනෙකු අද (10දා) උදෑසන ජයිකා ගොඩනැගිල්ල හා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ගොඩනැගිල්ල අතර පිහිටි අධිබලැති විදුලි උත්පාදක යන්ත්‍රය (ජෙනරේටරය) මතට වී විරෝධතාවක නිරත විය.


සමස්ත  කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුළු සේවා පාලන කාර්යාලයේ සේවයේ නියුතු එස්.සරත් සෙනවිරත්න මහතා උදෑසන අඩි තිහක් පමණ උස විදුලි උත්පාදක යන්ත්‍රය මතට නැගී විරෝධතාවයේ නිරතවද්දී තවත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් පස් දෙනෙකු ඔහුගේ සහයට එක්විය.

එම විරෝධතාවත් සමඟම අනුරාධපුර ශික්ෂණ  රෝහලේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් දෙසීයකට අධික පිරිසක් රාජකාරි කටයුතු අතහැර විදුලි උත්පාදන යන්ත්‍රය අසලට පැමිණ විදුලි උත්පාදන යන්ත්‍රය මත සිට  සිය සහෝදර සේවකයන්ගේ විරෝධතාවට සහය පලකලහ.

විරෝධතාවය පැවැත්වීමට හේතුව විමසීම සඳහා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක එස්.සරත් සෙනවිරත්න මහතා සම්බන්ධකර ගත්තත් ඒ මහතා මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැලකි සිටින බව පැවසුවේය.

අනතුරුව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්.රෝයි ද මෙල් මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගෙන සිදුකල විමසීමකදී  ඔහු      මෙසේ  පැවසුවේය.

අනුරාධපුර ශික්ෂණ  රෝහලට වසර කිහිපයක සිට ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නෑ. නියෝජ්‍ය අධ්‍යක්ෂවරු තිදෙනෙකු ඉන්නවා. පසුගියදා සේවයට පැමිණි චින්තක බටපොල කියන වෛද්‍යවරයා හරිම අමානුෂික අන්දමින් තමයි රෝහල තුළ කටයුතු කරන්නේ.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන්ට බොහොම අකාරුණික ආකාරයට පරුෂ වචනයෙන් බැණ වදිනවා. මීට දින කිහිපයකට ඉහතදී තේ සැකසූ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට අමානුෂික අන්දමින් පහරදීලා තියනවා.

ඒ විතරක් නෙමෙයි මේ වෛද්‍යවරයා හෙද කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන්ට පවා බැණ වැදෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. සරත් මහතා ජෙනරේටරය මත නැගලා ඉන්නේ ඔහුගේ පෞද්ගලික ගැටලුවක් නිසා නෙමෙයි. සමස්ත  රෝහලම වෙනුවෙන්. පසුගිය කාලය පුරා රෝහලේ අනවශ්‍ය ගැටලු ඇති වුණේ නෑ. සාමකාමිව සියලුම දෙනා සාමූහිකව සිය රාජකාරි ඉටුකරා.

මේ රෝහලට අධ්‍යක්ෂවරයෙකු අවශ්‍යයි. වැඩ බලන අධ්‍යක්ෂවරයෙකු ඉන්න අවස්ථාවේ තවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරු විශාල ප්‍රමාණයක් අවශ්‍ය නෑ. රෝහල හරි මාර්ගයට ගන්න අවශ්‍ය කටයුතු කරන්න බලධාරීන් වගබලා ගන්න ඕන. රෝහලේ උපකරණ  නැති වෙනවා. ජේනරේටර් ගිනි ගන්නවා. මුදල් හොරකම් කරනවා. කාර්යාල ගිනිබත් වෙනවා මේවා කොහොමද වෙන්නේ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

(Courtesy : Ada)

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...