කැස්පියන් මුහුද ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය වෙනවා. මෙය පිහිටා ඇත්තේ මධ්‍යම ආසියාවේ නැගෙනහිරට වන්නට යුරෝපය හා ආසියාව වෙන් කරන සීමාවේ යි. මෙය වයඹදිගින් රුසියාවට, බටහිරින් අසර්බයිජානයට, දකුණින් ඉරානයට, ගිණිකොණින් ටර්ක්මෙනිස්ථානයට හා ඊසානදිගින් කසකස්ථානයට මායිම් වෙනවා.
කැස්පියන් මුහුද හා ඒ අවට පෙදෙස ස්වභාවික වායු හා ඛණිජතෙල්වලින් අනූණ අතර, මේ සම්පත්වල හිමිකාරීත්වය පිළිබඳව අතීතයේ පටන් ආසන්න රාජ්‍යයන් අතර ගැටළු ඇතිවුණා. මේ හේතුව නිසාම කැස්පියන් මුහුද නිරන්තරයෙන් ලෝක අවධානයට ලක් වුණා.
කැස්පියන් මුහුදේ විශාලත්වය වර්ග කිලෝමීටර 143, 244ක් වන අතර එහි උපරිම ගැඹුර මීටර 1,025ක් වෙනවා. එහි සාමාන්‍ය ගැඹුර මීටර 211ක්. කැස්පියන් මුහුද කිලෝමීටර 1,030ක් දිගු වන අතර එහි උපරිම පළල කිලෝමීටර 435ක් හා අවම පළල කිලෝමීටර 200ක් වෙනවා. මෙය කි.මී 6,820ක මුහුදු තීරයකට උරුමකම් කියනවා.
කැස්පියන් මුහුදෙහි අඩංගු ජල ධාරිතාව ඝණ කිලෝමීටර 78,200ක් තරම් වෙනවා. මෙය ස්ථානගත වී ඇත්තේ සාමාන්‍ය මුහුදු මට්ටමෙන් මීටර 22ක් පහතිනුයි.
කැස්පියන් මුහුද පිහිටා ඇත්තේ ලොව වියළි කලාපවලින් එකක යි. කෙසේ නමුත් සමහර අවස්ථාවල මේ අවට පෙදෙස්වලට දැඩි ශීත කාලයක් බලපවත්වන අතර, එවිට එහි උතුරු කොටස සම්පූර්ණයෙන් මිදී යන අවස්ථා ද තිබෙනවා.
කැස්පියන් මුහුදෙන් ඉවතට ජලය යන කිසිදු ස්වභාවික ජල මාර්ගයක් නැහැ. කෙසේ නමුත් ජල මාර්ග 130කින් පමණ එයට ජලය සැපයෙනවා. මෙයට ජලය සැපයෙන ප්‍රධානතම ජල මාර්ගය වන්නේ උතුරු දෙසින් ගලා බසින වොල්ගා නදිය යි. මින් එයට ලැබෙන ජලයෙන් 80%ක් පමණ සැපයෙනවා. මීට අමතරව යූරල් හා කූරා ගංගා දෙකෙන් ද කැස්පියන් මුහුදට සැලකිය යුතු ජල සැපයුමක් ලැබෙනවා. ජල සැපයුම් මාර්ගවල අසමාකාර ව්‍යාප්තිය නිසා කැස්පියන් මුහුදෙහි තැනින් තැනට ලවණතාවය වෙනස් වන අතර එහි ලවණතාවය දහසට කොටස් 1.0 සිට 13.5 දක්වා වෙනස් වෙනවා. කෙසේ නමුත් මෙය සාමාන්‍ය සාගරයට වඩා අඩු අගයක්.
කැස්පියන් මුහුදේ සිට ඉවතට ගලන ජල පහරක් නැති නිසා එහි ජල මට්ටම ප්‍රධාන වශයෙන් යාමනය වන්නේ වාෂ්පීභවනය මඟින්. එමෙන්ම එය තුළට ගලන ජල ප්‍රභවවලින් සැපයෙන ජල ධාරිතාවල අඩු වැඩිවීම් නිසා එහි ජල මට්ටම විශාල ලෙස වෙනස් වෙනවා. කැස්පියන් මුහුද සතුව දූපත් 50ක් පමණ ඇති අතර ඉන් බහුතරයක් ජනාවාසවලින් තොර යි.
කැස්පියන් මුහුද එනමින් හැඳින්වූවාට, එය ඇත්තෙන්ම කරදිය විලක්ද මුහුදක් ද යන්න පිළිබඳව අදටත් විවාද පවතිනවා. එහි විශාලත්වය හා ලවණතාවය නිසා අතීතයේ බොහෝ දෙනා එය මුහුදක් ලෙස සලකන්නට පුරුදු වී සිටිය ද විලක් සතු ලක්ෂණ රාශියක් එහි පවතිනවා.
සාමාන්‍යයෙන් යම් ජල ප්‍රභවයක් 'මුහුදක්' ලෙස හඳුන්වන්නට නම් එය කරදිය ජල පහරකින් සාගරයට සම්බන්ධව තිබිය යුතු යි. කැස්පියන් මුහුද එම ලක්ෂණය දරන්නේ නැහැ. එමෙන්ම එහි ලවණතාවයත් සාගරයට වඩා අඩකින් පමණ අඩු යි. කැස්පියන් මුහුද විලක් ලෙස සැලකුවහොත් එය ලොව විල් ජලයෙන් 40%ක් දරන්නා ලෙස සලකන්නට සිදුවෙනවා මෙන්ම ලොව විශාලතම විල බවට පත් වෙනවා.
කැස්පියන් මුහුද මීට වසර මිලියන 50 - 60ක කාලයකට පෙර අත්ලාන්තික් හා පැසිෆික් සාගරයන්ට සම්බන්ධව තිබූ බවට සාක්ෂ්‍ය හමු වී තිබෙනවා. පසුකාලීනව එලෙස තිබූ සම්බන්ධතා නැති වී, මෙය සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ජලාශයක් බවට පත්ව තිබෙනවා. පෘථීවි උෂ්ණත්වය වැඩිවීමත් සමගම සිදු වූ වාෂ්පීභවන සීඝ්‍රතාවය ඉහළ යෑම නිසා, සෙසු මුහුදු හා තිබූ නොගැඹුරු සම්බන්ධක ජලතලයන් සම්පූර්ණයෙන් වාෂ්ප වීම කරණකොට ගෙන කැස්පියන් මුහුද, කළු මුහුද, හා ඒරල් මුහුද ඇති වී තිබෙනවා.
කැස්පියන් මුහුද අවට ජනාවාසකරණය සිදුවී ඇත්තේ මීට වසර 75,000කට පමණ පෙර යි. පසුකාලීනව කාර්මීකරණයත් සමග මෙහි ස්වභාවික සම්පත් ගවේශනය සිදුව ඇති අතර, ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය වැනි කර්මාන්තවල දියුණුව ද සිදුවුණා.
කැස්පියන් මුහුද හා ඒ අවට ප්‍රදේශය ඉහළ ජෛව විවිධත්වයකට ද උරුමකම් කියනවා. සාමාන්‍ය ලවණතාවයකින් යුක්ත නොගැඹුරු දියෙහි මත්ස්‍ය විශේෂ රාශියක් වෙසෙන අතර ඔවුන් මත යැපෙන පක්ෂී විශේෂයන් ගණනාවක් ද ඒ තදාසන්න වටපිටාව සිය වාසභූමිය කරගෙන තිබෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල්හී කැස්පියන් මුහුද හා එහි පෝෂක පෙදෙස තුළ සත්ත්ව විශේෂයන් 2000ක් පමණ වෙසෙන අතර , ඉන් 400ක් පමණ ප්‍රදේශයට ආවේණික වෙනවා.
ලොව අනෙකුත් ජල ප්‍රභවවලට මෙන්ම කැස්පියන් මුහුදට ද පාරිසරික තර්ජන රාශියක් එල්ල වී තිබෙනවා. තෙල් නිධි ඇතුළු ස්වභාවික සම්පත් උකහාගැනීමේ දී සිදුවන ජල දූෂණය ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. මීට අමතරව ජනාවාසකරණය හා කාර්මීකරණය නිසා ද මෙහි ජලයේ තත්ත්වය පිරිහෙන අතර, මේ නිසා මෙහි ජීවත් වන ශාක හා සත්ත්ව ප්‍රජාවන්ට ද ඉන් තර්ජනයක් එල්ල වෙලා. දැනට ගණන් බලා ඇති අන්දමට සෑම වසරකම කර්මාන්තශාලාවලින් අපිරිසිදු ජලය ඝණ මීටර මිලියනයක් පමණ කැස්පියන් මුහුදට මුදාහැරෙනවා. මේ නිසා සුපෝෂණය හා විෂවීම සිදු වී ජීවීන් රාශියක් මරණයට පත් වන අතර අවට වෙසෙන ජනතාවට ද රෝග බෝ වෙනවා.
කැස්පියන් මුහුද ඒ අවට පරිසරයේ පැවැත්මට විශාල බලපෑමක් කරන අතර, එය රැකබලාගැනීම අනාගත පාරිසරික ගැටළු අවම කර ගැනීමට ඉවහල් වෙනවා.
(Courtesy : Roar)
No comments:
Post a Comment