16 August 2017

නිරූපිකාවක් ලෙස ක්‍ෂේත්‍රයට පිවිසි දිනූෂා



බොහෝ වෙළෙඳ දැන්වීම්වලින් රසික සිත් දිනාගත් ඇය, මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "නෙතූ" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නීය. ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳ මෙලෙස අප සමග අදහස් බෙදා ගත්තාය.

"නෙතූ" ටෙලි නාට්‍යය නිසා මේ දවස්වල කාර්යබහුලයි නේද?

ඔව්, ටිකක් කාර්යබහුල වෙලා හිටියා. දැන්නම් එහි රූගත කිරීම් සම්පූර්ණ වශයෙන් ඉවරයි. දැන් ඉතිං කාර්යබහුල නැහැ. ඒ චරිතයට නම් ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ටෙලි නාට්‍යය විකාශය වූ මුල් කාලයේදී නම් එතරම් රසික ප්‍රතිචාර ලැබුණෙ නැහැ. නමුත් දැන්නම් බොහෝදෙනෙක් මාව හඳුනනවා. මගතොටේදී මාව හඳුන ගත්තොත් බොහෝ දෙනෙක් ඇවිල්ලා කතාබහ කරනවා. ඒ වෙලාවට දැනෙන හැඟීම වචනයෙන් කියන්න බැහැ.

ඔබට වෙනත් නිර්මාණයන් සඳහා ආරාධනා ලැබුණෙ නැද්ද?

"නෙතූ" කියන්නෙ මගේ පළමු ටෙලි නාට්‍යය. එයට සම්බන්ධ වෙන්න කලින් ඉඳලා මට ගොඩක් නිර්මාණවලට කතා කළා. නමුත්, තිබුණ බයත් එක්ක ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කළා.

තිබුණ බය කියන්නේ ක්‍ෂේත්‍රය තුළ හැදෙන කටකතාද?

අනේ නැහැ, එහෙම දේවල් නිසා නම් නෙමෙයි. රඟපාන්න ගොඩක් කැමතියි මම. ඒත්, දෙබස් කියනකොට වැරදි සිදුවෙයි කියන බය මට තිබුණා. ඒ නිසා තමයි ලැබුණ ආරාධනා ප්‍රතික්‍ෂේප කළේ.

කොහොමද පළවෙනි නාට්‍යයේ අත්දැකීම?

මම දන්න අයියා කෙනෙකුගේ මාර්ගයෙන් "නෙතූ" ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. මුල්ම දර්ශනය ගන්නකොටත් මම ලොකු බයකින් හිටියෙ. දෙබස් කියනකොට වැරදි සිදුවෙයි කියලා. ඒත්, ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණ හැම කෙනෙක්ම හොඳ අය නිසා මගේ බය නැතිවුණා. එක දර්ශනය තුන්හතර පාරක් රූපගත කළා. දෙබස් කියනකොට කිහිප වතාවක් මට වැරදුණ අවස්ථා තිබුණා. නමුත්, හැමෝම ඉතා සුහදශීලීව මාත් එක්ක වැඩ කළා. විශ්ව අයියා, නිපුනිකා හා චමිලා අක්කා මට ගොඩක් උදව් කළා. ඒ ගැන හිතනකොටත් පුදුමයි.

නිරූපිකාවක් වුණේ කොයි කාලෙද?

නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ 2012 වසරේදී. දැනටත් මම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. රඟපාන්න වගේම නිරූපණයටත් මම ගොඩක් කැමතියි. ඉදිරියේදී රංගනයට යොමුකරන කාලයට සමාන කාලයක් නිරූපණය පැත්තටත් යොමුකරන්න බලාපොරොත්තු වෙනවා.

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා ගැන කිව්වොත්?

මම දැනට වෙළෙඳ දැන්වීම් 10ක් විතර කරල තියෙනවා. ඒ අතරින් "සෙලාන් බැංකුව", "ලෙමන් පෆ්" කියන දැන්වීම් මිනිස්සු අතර ජනප්‍රිය වුණා. මේ දවස් වලත් මම දායක වුණු දැන්වීම් ප්‍රචාරය වෙනවා. වෙළෙඳ දැන්වීම්වලට අමතරව ගීත රූප රචනාවලටත් මම පෙනී ඉඳලා තියෙනවා. නමුත්, මේ හැමදෙයක්ම මම බාර ගන්නේ තෝරා බේරාගෙන.

ඇයි හැම නිර්මාණයක්ම බාර ගන්නෙ නැත්තේ?

විශේෂයෙන්ම නිර්මාණයක් සඳහා ආරාධනා කළාම මම හොයල බලනවා. ඒ කට්ටිය කොහොමද සහ අනෙකුත් දේවල් ගැන. තව නිර්මාණයේ ගුණාත්මකභාවය ගැන විශේෂයෙන්ම හිතනවා. ඒ නිර්මාණයේදී මම අඳින පලඳින දේවල් ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. මම නිරූපිකාවක් විදිහට දැන් වසර පහක් විතර වැඩ කරනවා. තවමත් මම භාරගෙන කටයුතු කරන්නේ %බ්‍රයිඩ්ල්^ කොස්ටියුම් විතරයි. රංගනය පැත්තෙන් වුණත් මම ගොඩක් වෙලාවට මට ලැබෙන චරිතය ගැන ලොකුවට හිතන කෙනෙක්.

කලාව පුංචි කාලෙ හීනයක්ද?

ගොඩක් දුරට කළේ ක්‍රීඩා. ඒ නිසා කලා කටයුතුවලට නැඹුරු වුණේ අඩුවෙන්. නමුත් පුංචි කාලෙ ඉඳලා මට නිළියක් වෙන හීනයක් තිබුණා. ඒ හීනෙ සාර්ථක කරගන්න තමයි මම නිරූපණයට සම්බන්ධ වුණේ. ඒ කෙටි කාලයත් එක්කම මට රඟපාන්නත් අවස්ථාව ලැබුණා.

ගොසිප් ගැන බයක් නැද්ද?

මට කිසිම බයක් නැහැ. මොකද මම කවදාවත් ඒ දේවල් නිර්මාණය වෙන්න වැඩකටයුතු කරන්නේ නැහැ. අපි හරියට අපේ වෘත්තිය හෝ ඒ කාර්යය කරනවානම් කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බැහැ නේද? ඒ දේ නිසා තමයි මම මගේ නිර්මාණයන් තෝරාගෙන කරන්නේ.

ගෙදරින් ලැබෙන සහයෝගය?

අම්මා ගොඩක්ම කැමතියි මම මේ වෘත්තියේ නියැළෙනවට. ඊට අමතරව මට ඉන්නේ අක්කලා දෙන්නෙක්. තාත්තා ජීවතුන් අතර නැහැ දැන්. ඉතින් හැම වෙලාවෙම ඔවුන්ගේ ඇස් දෙක වගේ මාව ආරක්ෂා කරනවා.



No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...