අධිකරණ ශාලාව |
ප්‍රධාන පිවිසුම (ගල් උළුවස්ස) |
පිගන් ගඩොල් ඇල්ලූ ශාලාව |
මඩුවන්වෙල දිසාව |
වතුර මල සහිත පොකුණ |
වලව්ව ඈතට දිස්වන අයුරු |
ප්‍රධාන පිවිසුම (ගල් උළුවස්ස) |
ඇඹිලිපිටිය සිට කොලොන්න හරහා සූරියකන්ද මාර්ගයේ කි.මී. 24 ක් පමණ දුරකින් මඩුවන්වෙල වලව්ව ලෙස සටහන් කරන ලද ගල් උළුවස්සක් සහිත පිවිසුමකින් හා ශෛලමය පවුරකින් වට කරන ලද මෙම මන්දිරය මනා පෞඩත්වයකින් යුතුව සියවල් කීපයක් ඔස්සේ විකාශය වී ඇත. මෙම ගල් උළුවස්සෙන් ඇතුළු වී ටික දුරක් ගිය පසු 1878 වසරේ ඉදි කරන ලද දෙවන පිවිසුම් දොරටුව පසු කරමින් වලව්වට පිවිසිය හැකිය.
අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකින් සමන්විත නොයෙක් වටිනා තුරුලතාවලින් පිරි අලංකෘත උද්‍යානය වලව්ව අවට සුන්දරත්වය ඉස්මතු කරයි. පවුරු තුනකින් අලංකාර වු මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව “ගල් උළුවස්ස” නම්වේ. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයට ගල් ආරුක්කුවක්ද දක්නට ලැබේ. තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකක් ඇත. පෙර කළ ඒ අසල පුන් කලස් තුනක්ද තිබු බව කියවේ. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබේ. ඇතුළු පවුර “පහන්පවුර ” නම්වන අතර එහි අලංකාර පහන් කුටි රුසක් ඇත. එමෙන්ම වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද වලව්වේ ජීවත් වු මහා රඳළවරයාගේ පෞර්ෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයෙනි.
මඩුවන්වෙල පරපුරේ ඉතිහාසය ක්‍රි:ව 1700 පමණ ඈත අතීතයට දිවයයි. මඩුවන්වෙල පරපුරේ ආදිතමයා ජීවත් වී ඇත්තේ එදා දෙදරන්ගමුව නමින් හැඳින්වුන මාදන ප්‍රදේශයේය. ඉන් පසුව එදා බල්ලන් දෑව හේන නමින් හැඳින්වුන මඩුවන්වෙල ප්‍රදේශයට පැමිණි එම ප්‍රභූවරයා වලව්ව ආසන්නයේම පන්සලද පිහිටුවා ගත්තේය. ඔහුට පසු මඩුවන්වෙල පරපුරේ ආදිතමයා වුයේ දෙවන විමලධර්මසුරිය රජු යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්වෙල විජයසුන්දර ජනනායක අභයකෝන් මුදලිය. විමලධර්මසුරිය රජුට භාග්‍යයේ සංකේතයක් ලෙස ඇලි ගෝනෙකු ප්‍රදානය කර වලව්ව අවට අක්කර 1650ක භූමියක් ගම්වරයක් ලෙස ලබා ගත්තේ මෙතුමාය. මඩුවන්වෙල පරපුරේ ඊළඟ උරුමකරු වුයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස විසු මඩුවන්වෙල මුදියන්සේය. (කොලොන්න රත්නායක මුදියන්සේලාගේ ලොකුඅප්පුහාමි) කොලොන්න පනාමුර ප්‍රදේශ සඳහා නින්ද ගම් ලබාගෙන ඇත්තේ මෙතුමාය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ විසු මඩුවන්වෙල මොහොට්ටාල හෙවත් බෝගහවෙල විජයසුන්දර අප්පුහාමි මඩුවන්වෙල වලව්වට උරුමකම් කීවේය. ඉන්පසුව මඩුවන්වෙල විජයසුන්දර මුදලි නමැත්තා වලව්වට උරුමකම් කීවෙය. ඒ රාජාධිරාජසිංහ රජ සමයේය. වැන්ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරයාගේ සමයෙහි සිංහල රජු යටතේ මඩුවන්වෙල පාලනය කළේ මඩුවන්වෙල කොඩිතුවක්කු නිලමේය. ඉන් පසුව මඩුවන්වෙල පරපුරේ අවසාන තැනැත්තාගේ පියා වන මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාළහාමි ප්‍රදේශය පාලනය කළේය. ක්‍රි:ව 1844 සැප්තැම්බර් මස 11වන දින උපත ලද මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව මෙම පරපුරේ අවසාන උරුමකරු විය.
රණකාමී අදහස්වලින් යුතු බුද්ධිමත් පාලකයෙකු වු මෙතුමාහට “මඩුවන්වෙල කළු කුමාරයා” යන අනවර්ථ නාමය යෙදී තිබුණි. මඩුවන්වෙල දිසාවේ නිසි කල වයසට පැමිණි පසුව කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හා විවාහ වු අතර ඇයට එක් දියණියක් ලැබුණි. කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වු එම දියණිය ආබාධිත වුවාය. අඩු ආයු වළදා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ වු දිසාවේට එම විවාහයෙන් දරුවන් නොලැබිණි. රටේ සංවර්ධනයට දායකත්වය ලබාදුන් මෙතුමා තම ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනා ගත් ප්‍රතිපත්ති ගරුක නායකයෙකු විය. මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ඔහුගේ මරණින් පසු දියණිය සීතා මොලමුරේ මැතිණියට මෙම උරුමය අයත් විය. 1964 දී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගත් අතර 1972 දී වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් විය.
මඩුවන්වෙල වලව්ව එහි නිර්මාණකරුවා ගෘහනිර්මාණ ශිල්පයේ ලා දැක්වු මහඟු ප්‍රතිභාව නිසාම ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාධයක් වී තිබේ. වලව්වේ සෑම බිම් අඟලක් පාසාම එම කුසලතාව ප්‍රකට වේ. ඉතා විශාල වලව් මිදුලේ වතුර මල සහිත ජල තටාකයක් ඉදිකර ඇත. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනක් ඇති අතර, ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රූප සහිත සඳකඩපහණ දක්නට ලැබේ. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසිය හැකිය. සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම් සහිත රාමුවකින් සමන්විත වන ත්‍රිමානශිලී ස්වරූපයක් පෙන්වන මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් එහි දක්නට ලැබේ . ඉතා මනරම් ලියවැල්, බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ. රටේ මහත්තයාගේ ඡායාරූපය පසෙක ඔහුගේ දෙවන බිරිඳ වු කලවානේ කුමාරිහාමිගේ ඡායාරූපයක්ද දක්නට ලැබේ. මීට අමතරව මහ බංගලාව නම් කාමරය තුළ ඇත්තේ කළු ගලින් කරන ලද පැන්තාලියක්, කළු ගලින් කළ පුටුවකුත්, කැසිකිලි ගලක්, ගව හිසක් හා නාන කාමරයක සුන්බුන් පමණි.
මහ බංගලාව නම් ශාලාව අසල පිහිටි පුංචි බංගලාව නම් ශාලාවේ කටුවන ලන්දේසි බලකොටුවට පහරදී ගෙන ආ දොර උළුවස්ස සවි කර ඇත. උළුවහු කඳන්වල බොරදම් දක්නට ලැබෙන අතර දොර තනි කොස් ලීයෙන් සැදුවකි. එය අඩි තුනක් පමණ පළල අතර අඟල් දෙක හමාරක් පමණ ඝනකමින් යුතුය. මෙම පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිතා කර ඇති අතර සතරවට විසිතුරු ආවරණයෙන් යුතුය. මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක්ද අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක්ද මෙහි දක්නට ලැබේ. මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිම පිඟන් කටු ගල්වා සරසා ඇත. ඉස්තෝප්පුවල ලී කුළුණු මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියයි. සියලු තැන්වලට යොදා ඇති ලී පරාල මනාව යතු ගා ඇත.
සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව වලව්වේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවයි. නිල් වීදුරු කවුළු, බිම පිඟන් කටු සැරසිලි, රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන, පිඟන් කටුයෙන කරන ලද මකර රූප, අලි රූප, හා නෙළුම් මල් රූප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරයි. මෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ වික්ටෝරියා රැජිනගේ පින්තූරය සහිත පිඟන් කටු බිමට අතුරා තිබීමයි. (මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේද වික්ටෝරියා රැජිනගේ රූපය හා ඉංග්‍රීසි ලාංඡනය වන රන් පවුම පයට පෑගෙන ලෙස අතුරා ඇත) ඒ තුළින් මඩුවන්වෙල දිසාවේගේ අදීන සිංහල හදවත හා ඔහු ඉංග්‍රීසි ආණ්ඩුව පිළිකුල් කළ ආකාරය හෙළිවන බව සමහර විද්වතුන්ගේ මතය වේ.
වලව්වේ වහලයට යොදාගෙන ඇත්තේ නුවර යුගයේ පෙති උළුය. නඩු ශාලාව හා මුලුතැන් ගේ කොටසක් පමණක් සිංහල ගැමි උළු (වලව් ඉඩමේ සියුම් මැටිවලින් සකස් කළ) සෙවිලි කර ඇත. 1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල් 21ක් තිබී ඇත. අද දක්නට ඇත්තේ කාමර 43ක් හා මැද මිදුල් 7කි. සිංහල ජනතාව වාරි කර්මාන්තයේ ලා දැක්වු අමිල නිපුනපාව ප්‍රකට කරමින් මැද මිදුල්වලට හා වලව් වත්තට එකතු වන සියලු ජලය මඩුවන්වෙල වැවට වැටෙන සේ සකස් කළ මනා ජලවහන පද්ධතියක්ද තිබු බවට සාධක අදටත් දෘෂ්‍යමානය.
මඩුවන්වෙල වලව්වේ තිබෙන කාමර අතර බුරුත මාලිගයට නම් කාමරයට වැදගත් තැනක් හිමිවේ. මුළුමනින්ම පාහේ බුරුත ලීයෙන් නිමවා ඇති ඇත්දත්ඇණ අල්වා, කළුවර ලීස්තර කැටයමින් සරසා ජනෙල්වලට වීදුරු සවි කර ඇත. සුදු නිලධාරින් සමඟ සාකච්ඡා කිරීම් ආදිය සඳහා මෙම කාමරය භාවිතා කළ බව කියවේ. බුරුත ලී සොල්දර තට්ටුව යට කාමරය මිනිරම් කපරාරු කර හුණු පිරියම් කර ශිත කාමරයක් ලෙස සකස් කර ඇත. එය ශිත දේශගුණයට හුරුවු සුදු නිලධාරින්ගේ සුව පහසුව සඳහා භාවිතා කර ඇත.
කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරයද වලව්වේ තවත් අපුරු අංගයකි. ඒ අසල ඇත්තේ ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි. දිසාවේගේ සයනාගාරය ලෙස භාවිතා කළ කොටස සතර වටින් අගුල් දැමිය හැකි මැද මිදුලක් අයිනේ වු ආලින්දයකි. එහි බිම මැද රන් පවුම් හා මැණික් ඔබ්බවා තිබී ඇත. සයනාගාරයේ දොරටුව අසල තුවක්කුව, කඩුව හා සැරයටිය තැබිය හැකි රහස් පෙට්ටියක් විය. සයනාගාරයට යාබදව ආයුධ ගබඩාව තිබු අතර කටුවන ලන්දෙසි බලකොටුවට පහර දී ගෙන ආ කාලතුවක්කු දෙකද එහි වු බව කියවේ.
ආයුධ ගබඩාව ආසන්නයේ රට බීම ගබඩාවක් ද තිබුණි. දිසාවේගේ සයනාගරයට අලලා තවත් පසෙක කලවානේ කුමාරිහාමිගේ සයනාගාරය දක්නට ලැබේ.
වලව්වේ විසු රදළ පිරිසගේ කෑම කාමරය හා මුළුතැන්ගෙය වලව්වේ මැද භාගයේ දක්නට ලැබෙන අතර කුමාරිහාමිලාගේ නාන කාමර වලව්වේ පිටුපස කොටසේ තිබී ඇත. ගබඩා කාමර, ධාන්‍ය කාමර ආදී සියලු දේ අදටත් දෘෂ්‍යමානය. අලුත් බුදු මැදුර හා පැරණි බුදු මැදුර නමින් හැඳින්වෙන කාමර දෙකක් මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරය දෙපස ඇති අතර එහි බිම පිඟන් කටු මෝස්තරයෙන් අලංකාර කර ඇත. වහලයට සීලිමක් යොදා සායම්වලින් මල් කැටයම් ඇඳ එය විචිත්‍රවත් කර ඇත. රජ මාලිගයක දක්නට ඇති රහස් කුන්ඩයන් හා කුරුබිලිද මෙහි දක්නට ලැබේ. එමෙන්ම ප්‍රදේශයේ අධිකරණ බලය දිසාවේට පැවරී තිබු නිසා වලව්වේ නඩු ඇසීමේ කාමරයක්ද විය. මහ බංගලාව අසලින් නඩු ශාලාවට යාමට කොරිඩෝවක් තිබු අතර නඩු ශාලාවේ දොරටුවට ඉහළින් මී හරක් අං තට්ටුවක් සවි කර තිබුණි. මේ ආකාරයට මඩුවන්වෙල වලව්ව පුරාවට විහිදී ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණ තුළින් අභිමානවත් පරපුරක උරුමය සජීවාරෝපනය කරයි.
මූලාශ්‍ර - අපේ උරුමය