ලෝක උරුමයක් වූ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීම සඳහා සංචාරකයන් වෙනුවෙන් තවත් මාර්ගයක් විවෘත කිරීමේ උත්සහයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ කතිකාවක් ඇතිවී තිබේ. ඒ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් ඊට මුල් වී කටයුතු කරන බවය.
පට්ටිපොළ සහ ඔහිය දෙසින් ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ දැනටමත් සංචාරකයන්ට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඉඩ සලසා තිබේ.
බලංගොඩ සිට නන්පේරියල් වතුයාය හරහා නව ප්‍රවේශ මාර්ගය විවෘත කිරීමට උත්සාහ කරන බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය .
"අපි සැලසුම් කරන්නේ ප්‍රදේශය සම්පත් යොදාගෙන සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දාලා, ප්‍රාදේශීය සභාවට සහ රජයටත් යම් ආදායමක් උපයාගන්න. මේ යටතේ අපි බලාපොරොත්තු වෙනවා බලංගොඩ ඉඳලා නන්පේරියල් වතුයාය හරහා නැග්රැක් දක්වා සංචාරකයන්ට වාහනවලින් යන්න ගමන් පහසුකම් සලසන්න. එතන ඉඳලා පාගමනින් පමණක් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වෙන්න නීතානුකූල අවසරයක් දෙන්නයි හදන්නේ," යනුවෙන් සභාපතිවරයා පැවසීය.
බලන්ගොඩ සිට නන්පේරියල් වතුයාය හරහා නැග්රැක් දක්වා ගමන් කිරීමට දැනටමත් පටු, ඉතා අවදානම් මාර්ගයක් ඇත. එම මාර්ගය විවෘත කරන්නේ නම් වාහන ගමන් කිරීමට සුදුසු තත්වයකට එම මාර්ගය සංවර්ධනය කළ යුතුව තිබේ. එහිදී වාහන හුවමාරු විය හැකි පරිදි විශේෂයෙන් මාර්ගය සකස් කළ යුතුය.
මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමේ දී පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ සිංහරාජය මාර්ගය කැපීම මෙන් පරිසර විනාශයක් මෙහිදී සිදු නොවන අතර, නැග්රැක් සිට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය හරහා පැරණි මාර්ගයෙන් ගමන් කරන්නේ පා ගමනින් පමණක් බැවින් කිසිඳු පරිසර විනාශයක් නොවන බවට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසයි.
එහෙත් ඒ තුළින් විශාල පරිසර විනාශයක් සිදුවිය හැකි බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය සෙව්වන්දි ජයකොඩි පෙන්වා දෙන්නීය.
"ලංකාවේ ජෛව විවිධත්වය ගැන කරපු අධ්‍යන වලින් අපි දැක්ක දෙයක් තමයි හෝටන්තැන්න, සමනල අඩවිය සහ ඒ අවට ප්‍රදේශය කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම ඒක දේශීය ශාක හා සත්ව විවිධත්වය තියෙන කලාපය කියන එක. ලංකාවේ හමුවන කක්කුට්ටන් විශේෂ 51න් 50ක්ම ශ්‍රී ලංකාවට අවේණිකයි. එම කක්කුට්ටන් විශේෂ බොහොමයක් මේ ප්‍රදේශයේ ඉන්නවා. මෙවැනි සංවේදී පරිසරයක අපි පය තියෙන හැම මොහොතකම මේ පරිසරයට හානියක් වෙන්න පුළුවන්," යනුවෙන් ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාව ද පාර්ශවකරුවෙකු වන අන්තර් ජාතික ජෛව විවිධත්ව සම්මුතියට ශ්‍රී ලංකාව 2019 දී 6 වන ජාතික වාර්තාව ඉදිරිපත් කරන ලදි. එම වාර්තාව සකස් කිරීමේදී ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වත්මන් තත්වය ගැන කරන ලද අධ්‍යනයන්ට අනුව සමනල අඩවිය, හෝර්ටන් තැන්න හා ඒ වටා ඇති ආරක්‍ෂිත සහ අනාරක්ෂිත ප්‍රදේශ තුළ ඇති කුඩා තෙත් කලාපීය වනාන්තර තුළ ශ්‍රී ලංකාවේ වැඩිම ඒක දේශීය ශාක සහ සත්ව විවිධත්වය ඇති බව හඳුනා ගන්නා ලදි.
1969 දෙසැම්බර් 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද හෝර්ටන්තැන්න 1988 මාර්තු 16 වැනි දින ජාතික වනෝද්‍යානයක් බවට පත්කර තිබේ. පසුව 2010 අගෝස්තු 02 වැනිදා ලෝක උරුමයක් ලෙස හෝර්ටන් තැන්න (ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ලෝක උරුම භුමිය) ප්‍රකාශයට පත්කර ඇත.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය මධ්‍යම, ඌව සහ සබරගමු පළාත් වලට මායිම්ව පිහිටා ඇති අතර මේ උත්සාහය ගනු ලබන්නේ සබරගමුව මායිමෙන් ඇතුළු වීම සඳහා නව පිවිසුම් මාර්ගයක් විවෘත කිරීම සඳහාය.
ඒ සඳහා වසර තුනක පමණ කාලයක සිට සබරගමුවේ ආණ්ඩුකාරවරු, අනෙකුත් බලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව සමඟ ද ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත.
"වරදවා වටහා ගන්න එපා. මේ අපි නීත්‍යනුකුලව අවසර පත්‍රයක් දීලා අරින්න හදන්නේ අලුත් පාරක් නෙමෙයි. මේක ඈත අතීතයේ ඉඳන් ඔය සැමුවල් බේකස් ගිය පාර. ඉස්සර නුවරඑළියේ ඉඳලා මෙහෙට ආපු පාර," යනුවෙන් සභාපතිවරයා පවසයි.
"බොහෝ භූමි ප්‍රදේශ ආරක්‍ෂිත ප්‍රදේශ කරන්න කලින් තිබුණු පොඩි පාරවල් තියෙනවා. නමුත් ඒ ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් කළ පසු ඒ අඩි පාර පාවිච්චි වුණේ නෑ. ඒ නිසා ඒ අඩි පාර නැවත ආරක්‍ෂිත කලාපයකට ඇතුළුවෙන්න යොදා ගත යුතු නෑ," යනුවෙන් ඇය සඳහන් කළේ සංචාරක කර්මාන්තය දියුණු කරන සෑම අවස්ථාවකම එම ව්‍යාපෘතිය සංවේදී පරිසරයකට බද්ද කළ යුතුද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු බව ද සිහිපත් කරමිනි.
ඔහිය හෝ පට්ටිපොළ දෙසින් එන සංචාරකයෝ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි පිවිසුමෙන් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වෙති. ඔවුන් පිටව යු යුතු වන්නේ ද එම පිවිසුමෙන් පමණි.
එහෙත් නව මාර්ගය විවෘත කිරීමේ සැලැස්මට අනුව නුවරඑළිය දෙසින් ඇතුළු වන සංචාරකයන්ට නන්පේරියල් හරහා බලන්ගොඩ දෙසින් පිටව යාමටත්, නන්පේරියල් දෙසින් ඇතුළුවන අයට නුවරඑළිය දෙසින් පිටව යාමත් හැකිවනු ඇත.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීම සඳහා තවත් මාර්ගයක් විවෘත කිරීමේ යෝජනාව සහ එවැනි අවශ්‍යතාවයක් තිබේදැයි බීබීසී සිංහල සේවය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් එම්. ජී.සී සූරියබණ්ඩාරගෙන් විමසීමක් කළේය.
"අපි ක්‍රියා කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති එක්ක. හෝර්ටන්තැන්නට අදාළව ඒක නිරූපණය වෙන්නේ ඒකට හදලා තියෙන කළමනාකරණ සැලැස්මෙන්. ඒක දෙවැනි වතාවටත් සංශෝදනය කරලා අපි පාවිච්චි කරනවා. ඒක තුළ අපි ඕක හඳුනාගෙන නෑ. එහෙම හඳුනාගෙන නැත්තේ ඒ තුළින් ජාතික වනෝද්‍යානයේ ඉදිරි පැවැත්ම සඳහා ගැටලුවක් තියෙන හින්දයි. අපි ඒ මතයේ ඉන්නවා," යනුවෙන් පැවසූ ඔහු වැඩිදුරත් කියා සිටියේ මේ ගැන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කර මාධ්‍ය වෙත පිළිතුරක් ලබා දිය හැකි බවයි.
නන්පේරියල් වත්ත හරහා ඇති මාර්ගය නාය යෑමේ අවදානමක් සහිත ප්‍රදේශයක් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය [NBRO] දැනුම් දී ඇතැයි නන්පේරියල් වතු අධිකාරී සේනාල් දිසානායක කියා සිටියේය.
"නන්පේරියල් වත්ත හරහා නැග්රැක් දක්වා තියෙන්නෙ ඉතාම පටු පාරක්. විශේෂ කුසලතාවයන් නැති අයට මේ පාරේ වාහන එළවන්න බෑ . මෙම ප්‍රදේශයට පැයක් තුළ මිලිමීටර් 75 ඉක්ම වන වර්ෂාපතනයක් ඇති වුවහොත් නාය යාමේ අවදානමක් පවතින බවට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම් දී තියෙනවා. ළඟදිත් නාය ගියා. වැඩිපුර වැස්සොත් කොහෙන් හරි කඩාගෙන යනවා," යනුවෙන් වතු අධිකාරිවරයා පැවසීය.
හෝර්ටන් තැන්නට නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීම සම්බන්ධයෙන් සබරගමුව පළාත තුළ කතිකාවත් ඇති
මේ සුන්දර භූමිභාගය හෙක්ටයාර 3160 ක විශාලත්වයෙන් යුත් කඳුකර සදාහරිත වැසි වනාන්තරයකි. නුවරඑළිය, බදුල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර 1800 – 2100 අතර උසකින් යුක්ත වන අතර ශ්‍රී ලංකාවේ උසින් ම පිහිටි පට්ටිපොළ සානුව හෝර්ටන්තැන්නට අයත් වේ. ලංකාවේ දෙවැනියට උස ම කන්ද වන කිරිගල්පොත්ත ඇත්තේ ද මෙහි ය.
කුඩා ලෝකාන්තය, ලෝකාන්තය හා බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්න තුළ පිහිටි සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ස්ථාන වේ.
ක්‍රි.ව 1833 දී විලියම් ෆිෂර් සහ ඇල්බට් වොට්සන් නම් බ්‍රිතාන්‍ය යුද්ධ නිලධාරීන් දෙදෙනා විසින් හෝර්ටන් තැන්න සොයා ගනු ලැබිණි. එකල ආණ්‍ඩුකාරවරයාව සිටි රොබට් විල්මට් හෝර්ටන්ගේ නාමය සිහිගන්වමින් " හෝර්ටන්තැන්න " යන නාමය භාවිතයට එක්ව තිබේ. අතීතයේ දී මෙම භූමිය මහ එළිය, මහතැන්න, මැණික් පොකුණ යන නම් වලින් ද හඳුන්වන ලදි.
ඉතා සෞම්‍ය සිහිල් සුවදායක දේශගුණයකි. මිලි මීටර 2000 – 3000 අතර වාර්ෂික මධ්‍ය වර්ෂාපතනයත්, වාර්ෂික මධ්‍ය උෂ්ණත්වය 15 0C ත් වන අතර යුරෝපයේ මෙන් ඝන මීදුම, රාත්‍රී හිමපතනය දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවට ආවේණික දඔ, බිනර, මොර, සපු, කීන, බෝවිටියා, මහරත්මල්, කුරු උණ යන ශාකත්, ගෝනා, දඬුලේනා, වල් ඌරා, හඳුන්දිවියා, මීමින්නා බඳු ක්ෂීරපායින් හබන් කුකුළා, කඳුකර වී කුරුල්ලා, ලංකා අරංගයා ආදී පක්ෂීන් අං කටුස්සා, ලේ මැඩිල්ලා, කළු කටුස්සා යන උභය ජීවීන් ද දක්නට ලැබේ.
නන්පේරියල් තේ කර්මාන්තශාලාව පසුකර ඉහළට යන විට බේකර්ස් බෙන්ඩ් ලෙස හඳුන්වන වංගුව පිහිටයි. එය නිර්මාණය කර තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5000 සිමාවේ වීම විශේෂත්වයකි. එම ස්ථානයේ සිට පරිසරයේ සුන්දරත්වය නැරඹිය හැකිය. එක් පසකින් සමනලවැව ජලාශය පෙනේ. තවත් පසකින් අහස සිඹින කඳු වළලු දක්නට ලැබේ.
මාර්ගය අවසන් වන්නේ සබරගමුව පළාතේ පිහිටි උසම ජනාවාසය වන නැග්රැක් වලිනි. මුහුදු මට්ටමේ සිට අඩි 6990ක් ඉහළින් එම ගම්මානය පිහිටයි.
කඳුකර පරිසරයක ඉහළම ස්ථානය පිහිටි එම ගම්මානයට ගිය අයෙකුට මුදුම් වළාවන් ගත දැවටෙන විට සොබාදහමේ සොඳුරු ආශ්වාදය විදිය හැකිය.
කඳු නැගීමට ප්‍රිය කරන අයට සහ අහස නිරීක්ෂණය කරන අයට මේ පරිසරය ඉතා යෝග්‍ය වේ.
එමෙන්ම බෙලිහුල් ඔය, උඩවලව වැනි ප්‍රදේශ වලට ද නැන්පෙරියල් නැරඹීමට පැමිණෙන සංචාරකයෙකුට ගමන් කළ හැකිය.
එබැවින් ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීමට මෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වන්නේ නම් ලෝක උරුමයක් වූ හෝර්ටන් තැන්න ඊට සම්බන්ධ කර නොගෙන සැළසුම් සකස් කළ හැකි බව ආචාර්ය සෙව්වන්දි ජයකොඩි පෙන්වා දුන්නාය.
(Courtesy : BBC)
No comments:
Post a Comment