30 June 2019

ගොවියා වට්ටන ප්‍රතිඅපනයන මගඩිය

කළුතර දොඩංගොඩ විජය ප්‍රඩක්ට්ස් ආයතනය අප රටේ කුළු බඩු නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකි. එය දේශීය ව්‍යාපාරයකි. ගැමි ආර්ථිකයට යෝධ ශක්තියක් ලබාදෙන සමාගමකි. අපනයන, වෙළෙඳපොළ ද ජයගත් ඒ සමාගමේ සභාපති අනුර කොතලාවල මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී (BSc)  ගෞරව උපාධිධාරියෙකි. කළ යුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද අප කොතලාවල මහතා සමග කතා කරන්නේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ගැටලු හා කළ යුතු පිළියම් පිළිබඳවය.

අප නියුතුව සිටිනේ කුළුබඩු හා තේ, කෝපි ආශ්‍රිත ව්‍යාපාරවලය. මේ ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතුවල නිරත රටපුරා විසිරී සිටින ව්‍යවසායකයෝ පිරිස 1000ක් පමණ වෙති. ඒ පිරිස කුළුබඩු සමග තේ, කෝපි, නූඞ්ල්ස්, පපඩම්, කුරක්කන් හා ආටා වැනි පිටි වර්ග නිෂ්පාදනයෙහි නියැලී සිටිති. රටෙහි මේවා නිෂ්පාදනය කරද්දී මිරිස් හා කහ කුඩු පවා රටින් ගෙන්වන තත්ත්වයක් තිබෙන බව ඇතැම්හු නොදනිති. එය රටටත්, දේශීය ව්‍යවසායකයන්ටත් දේශීය ව්‍යාපාරවලටත් අහිතකර තත්ත්වයක් බැවින් බදු පනවන්නැයි අපි රජයට යෝජනා කළෙමු. අපේ ඒ යෝජනාව පිළිගෙන රටින් ගෙන්වන මිරිස් කුඩු කිලෝවකට රුපියල් 100ක බද්දකුත් කහ කුඩු කිලෝවකට රුපියල් 200ක බද්දකුත් පැනැවිණි. එසේ බදු පනවා තියෙද්දීත් හොර පාරෙන් මේවා ගෙන්වන බව ජනප්‍රිය කතාවකි. ඇතැමුන් ඒවා ගෙන්වන්නේ කුඩු වශයෙන් නොව මිරිස් නම් කරල් ලෙසිනුත්, කහ නම් කෑලි ලෙසින්ය.



ඒවා එලෙස වන්නේ අවංකභාවය නැති හෙයිනි. සේවකයාගේ සිට පාරිභෝගිකයා දක්වා සිටින ලොකු කුඩා කවුරුත් අවංක විය යුතුය. අවංකකම නැතිව ව්‍යාපාර කළ නොහැකිය. පවුලක, ව්‍යාපාරයක හෝ රටක ප්‍රශ්න පැනනගින්නේ ඒ අවංකකම නැතිවූ විටය. ව්‍යාපාරයක පැවැත්මට අවංකකමට අමතරව භාණ්ඩවල ගුණාත්මකභාවය, සාධාරණ මිල වැනි තවත් සාධක කීපයක්ද අවශ්‍ය වෙයි. අවසාන වශයෙන් ව්‍යාපාරය රඳාපවතින්නේ පාරිභෝගිකයාට සපයන සේවයේ ප්‍රමාණය හා ගුණය මතය. ඒ සියල්ල එලෙසින් සැපිරුණ ද තවමත් පිට රටින් ඒ භාණ්ඩ ගෙන්වීම නිසා ඒ තර්ජන තවමත් නැතිවා නොවේ. එසේම අනෙක් කාරණය වන්නේ මේ කර්මාන්තය සම්බන්ධයෙන් නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැතිකමය. එය පවතින රජයට පමණක් නොව පැවැති ආණ්ඩුවලටද එල්ල වන චෝදනාවකි.

අපේ රටේ ජනගහනය මිලියන 21කි. ඒ ජනතාව වැඩි වශයෙන් භාවිත කරන්නේ දේශීය නිෂ්පාදනය. එසේම අපේ මේ ඇතැම් නිෂ්පාදන පිටරටවලටද යවනු ලබයි. දිගුකාලීන ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය වන්නේ මේ කර්මාන්ත හා කර්මාන්තකරුවන් සේම පාරිභෝගිකයා සමඟ රටේ ආර්ථිකයත් රැකගැනීම සඳහාය. කිය යුතුම අනෙක් කාරණය වන්නේ එහිදී ප්‍රතිපත්ති පටලවා නොගත යුතු බවය. කර්මාන්ත ප්‍රතිපත්තිය, වෙළෙඳ ප්‍රතිපත්තියෙන් වෙනස් විය යුතුමය. ඒ දෙක එකට ගැට ගැසුණු කල ඇති වන්නේ වියවුලකි. එක අමාත්‍යාංශයකින් හෝ එක ආයතනයකින් ඒ ප්‍රතිපත්ති සම්පාදනයන් හා ක්‍රියාත්මක වීම සිදු වුවහොත් කර්මාන්ත ප්‍රතිපත්තිය යටගොස් වෙළෙඳ ප්‍රතිපත්තිය ඉහළට පැමිණීම වැළැක්විය නොහැකිය. අද අප රටේ ඇතැම් ප්‍රශ්න අවුල් වී තිබෙන්නේ මේ පිළිබඳව නිසි අවධානයක් යොමු වී නැති හෙයිනි.

අවශ්‍යතාවක් නැතිව තිබියදී නියම හෝ අනියම් මාර්ගවලින් බාල බඩු රටට එන්නේත්, නිසි ප්‍රතිපත්තියක් නැතිකමිනි. ප්‍රතිපත්තියක් නැතිකම රැකියා කරන්නන්ටත්, ඒ කර්මාන්ත හිමියන්ටත් ඔවුන්ට භාණ්ඩ හා සේවා සපයන අයටත් අවසන රටේ ආර්ථිකයටත් කරන බලපෑම සුවිශාලය. රජය පැත්තෙන් තියෙන එකම හා ප්‍රධාන ප්‍රශ්නය, ගැටලුව හෝ අඩුපාඩුව රාජ්‍ය ප්‍රතිපත්තියක් නැතිකම පමණක් නොවේ. අපේ කර්මාන්ත සඳහාම වූ සුවිශේෂ ණය ක්‍රම හෝ තාක්ෂණික සහාය හෝ අඩුම තරමින් තාක්ෂණික උපදෙස් හෝ රාජ්‍ය මට්ටමින් අපේ කර්මාන්ත වලට නොලැබෙයි. ඒ සියල්ල කරගැනීමට සිදුවී තිබෙන්නේ ව්‍යවසායකයන්ටමය. එහෙත් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ රටෙහි තිබේ. ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සේම ඒවායේ සේවයේ නියුතු සියදහස් ගණනක් ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු කරයි.

බැංකු ණය දෙන්නේ කාටත් එක පොලියකටය. එහෙත් කුළුබඩු ආශ්‍රිත කර්මාන්තකරුවන්ට කාටත් බෙදන හැන්දෙන් බෙදීම අසාධාරණය. මක් නිසාද යත් මේ ව්‍යාපාර දේශීය ගොවි නිෂ්පාදන සමඟ ඍජුව බැඳී පවතින හෙයිනි. රටෙහි අමුද්‍රව්‍ය ඇති තරම් තිබෙන්නේ නම් අප අමුද්‍රව්‍ය මිලදී ගන්නේ දේශීය ගොවියාගෙනි. අපේ කර්මාන්තවල රැකියා කරන්නෝ ද අපේ ලාංකිකයෝය. ව්‍යාපාරිකයෝ ද ලාංකිකයෝය. එහෙයින් මේ ව්‍යාපාර වලට අදාළව කෙරෙන සියලු ගනුදෙනු සිදුවන්නේ රට ඇතුළේය. මේ මුදල් රටින් පිටව යන්නේ ඉතා අඩුවෙනි. අප රටේ නිෂ්පාදන නොකරන සූදුරු, මාදුරු, කොත්තමල්ලි වැනි දේවල් රටින් ගෙන්වීමට සිදුවීම අපට වැළැක්විය නොහැකිය.

බැංකු වලින් සියයට 15ට, 20ට ණය අරගෙන මේ ව්‍යාපාර කළ නොහැකිය. සමස්තයක් ලෙස අපේ රටේ බැංකු, ගනුදෙනුකරුවාගේ පැත්ත පිළිබඳව සලකා බැලීම තිබෙන්නේ ඉතා පහළ තත්ත්වයකය. අපේ ආයතනය මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු 11ක් සමග වැඩකරන අතර, අප කතා කරන්නේ ඒ අත්දැකීමෙනි. අපේ ප්‍රශ්න බැංකු සමග කතාබහ කර තිබෙන අතර, පොදුවේ අපේ කර්මාන්තකරුවන්ට බලපාන ප්‍රශ්න ගැන ද එසේ කතාකර ඇත්තෙමු. බැංකු වලින් ගනුදෙනුකරුවන්ටත් අසාධාරණකම් සිදුවෙයි. වැරැදියට ගිණුම් හැදීම, අසාධාරණ විධියට අඩු වැඩි කිරීම් වැනි නොයෙක් අසාධාරණකම් බැංකු වලින් සිදුවෙයි. අපට එවැනි ප්‍රශ්නයක් වූ විට අපි ඒ ගැන සාකච්ඡා කර ප්‍රශ්න විසඳාගෙන ඇත්තෙමු. එහෙත් එවැනි හැකියාවක් නැති අයට වන අසාධාරණකම් අඛණ්ඩව එලෙසම සිදුවෙයි. ඉතා කුඩා ව්‍යාපාරිකයන්ට බැංකු වලින් සහනයක් ඇත්තේම නැත. අපේ ව්‍යාපාරය යන්නේ මූල්‍ය කළමනාකරණයක් හා මූල්‍යමය විනයක් සමගය.

අපේ ආයතනය අමුද්‍රව්‍ය මිලදී ගන්නේ අත්පිට මුදලටය. එහෙත් ඇතැම් අයට එවැනි හැකියාවක් නැති බැවින් ඔවුන් අමුද්‍රව්‍ය මිලදී ගන්නේ ද ණයටය. ඒ සඳහා ණය ගැනීමට සිදුවන්නේ බැංකු වලිනි. රාජ්‍ය හා පෞද්ගලික බැංකු රට ගැන සිතා රටේ ආර්ථික වර්ධනය ගැන සිතා අපේ ක්‍ෂේත්‍රයේ ඉතා කුඩා ව්‍යාපාර වලට හෝ සහන පොලියට ණය දෙන්නේ නම් අපේ කර්මාන්ත ක්‍ෂේත්‍රය තවත් දියුණු කළ හැකිය. එසේම මේ ක්‍ෂේත්‍රයෙහි තවත් පිරිසකට රැකියා උත්පාදනය කළ හැකිය.

නීතිය ක්‍රියාත්මක වීම පැත්තෙන් ද අපට ප්‍රශ්න පැන නැඟී තිබේ. ණයට ලබාගත් මුදලක් ආපසු ගැනීමේදී මෙන්ම ණයට දුන් බඩුවලට මුදල් ගැනීමට යාමේදී ද බොහෝ අසීරුතාවයනට ලක්වීමට සිදුවෙයි. අගරු චෙක්පත් සම්බන්ධයෙන් ද එවැනි ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවෙයි. එවැනි ගැටලු සම්බන්ධයෙන් පොලිසිය වෙතින් නීතිය ක්‍රියාත්මක වීමේදීත් අධිකරණ වලදී යුක්තිය පසිඳලීමේදීත් දැනට කටයුතු සිදුවෙන අයුරු ගැන සෑහීමකට පත් විය නොහැකිය. ඒ කටයුතු දැනට වඩා කාර්යක්ෂම විය යුතුය. දැනට වඩා විනිවිද පෙනෙන ලෙස විය යුතුය. එසේම දැනට වඩා යුක්තිසහගත විය යුතුය. ඒ සඳහා තිබෙන නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති සම්පාදනය කිරීමේ වගකීම තිබෙන්නේ රජයටය. මේ ප්‍රශ්නය ද බලපාන්නේ ලොකු කුඩා පදනම මතය. මේ ප්‍රශ්නවලට ද වැඩියෙන් ගොදුරු වන්නෝ කුඩා සහ ඉතා කුඩා ව්‍යාපාරිකයෝය. ඒ ව්‍යාපාර රැකගත යුතුය. ණයට දුන් බඩු වලට මුදල් ගැනීමට නොහැකි වූ විට සේවකයන්ට පඩිනඩි ගෙවීම, එදිනෙදා නඩත්තුව හා බැංකු ණය වාරික ගෙවීම යනාදී සියල්ල කළ නොහැකි වෙයි. අවසානයේ ව්‍යාපාර කඩා වැටෙයි. එය අවසන් වශයෙන් බලපාන්නේ රටේ සමස්ත ආර්ථිකයටය. එහෙයින් පොලිසියත්, අධිකරණයත් කාර්යක්ෂම සහ යුක්ති සහගතව තම කටයුතු කරන ආයතන ලෙස මෙහෙයවීම ඒ ඒ අමාත්‍යාංශ හා ආයතන භාර පරිපාලකයන්ගේ වගකීමකි. යුක්තිය ඉටුවිය යුත්තා සේම ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතු බව නීතියේ පිළිගත් සංකල්පයකි. ඇත්තෙන්ම එය එසේම විය යුත්තේමය.

ලංකාව කාෂිකාර්මික රටක් ලෙස හැඳින්නුවත් මිරිස් සහ කහ දැනට අප රටේ නිෂ්පාදනය කෙරෙන්නේ රටේ සමස්ත අවශ්‍යතාවෙන් සියයට දහයක් පමණකි. ඊට හේතු වී තිබෙන්නේ තාක්ෂණික සහාය හා කෘෂිකාර්මික දැනුම අවශ්‍ය තරමට ගොවීන්ට ලැබී නැතිකමය. අනෙක අපේ රටේ නිෂ්පාදන වියදම ඉහළය. ලංකාවේ මිරිස් කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 1000ක් ඉක්මවයි. ඇතැම් කාලවල අමු මිරිස් කිලෝවක් රුපියල් දහසට නඟියි. වියළි මිරිස් කිලෝවක් නිෂ්පාදනය කිරීමට අමු මිරිස් කිලෝ හතරක් අවශ්‍යයි. කහ සම්බන්ධයෙන්ද පවතින්නේ එවැනි තත්ත්වයකි. වගාවට අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ගොවියාට නොලැබෙයි. රට කෘෂිකාර්මික කිරීමට ගොවියෝ ගොවිතැන් නොකරති. අතීතයේ ගොවීන් මහා පරිමාණයෙන් ගොවිතැන් කළත් වර්තමානයේ එසේ නොකරන්නේ ද රාජ්‍ය ප්‍රතිපත්තියේ මහිමයෙනි. නිෂ්පාදන වියදම සුවිශාලය. එසේම වන සත්ව හානි ද ඉතා ඉහළය. විටෙන් විට එන ස්වභාවික විපත් තවත් හේතුවකි. අස්වැන්න නෙළන කාලයේදී රටින් ගෙන්වීම තවත් කාරණයකි. සාධාරණ මිලක් නොලැබීම ප්‍රබලම කාරණයයි. බැංකු පොලිය ඉහළ මට්ටමක පැවැතීම තවත් කාරණයකි. බැංකු වලට ඇපකර ලෙස තැබිය හැකි දෙයක් නැති නිසා බොහෝ ගොවීන් ණය ගන්නේ පොලී මුදලාලිලාගෙනි. පොලී මුදලාලිගේ පොලිය මාසයකට සියයට දහයකි. අවුරුද්දට සියයට 120කි. අපේ ඇතැම් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ද ණය ගන්නේ එවැනි ගිනි පොලියටය.  සියයට 120ක පොලියකට ණය ලබාගෙන ගොවිතැනක්වත් ව්‍යාපාරයක්වත් කළ නොහැකිය. ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ ගැන නොසිතීම බරපතළ ඛේදවාචකයකි.

ගොවිතැනේ නිෂ්පාදන වියදම අඩු කිරීම රජයේ වගකීමකි. අඩු වියදම් තාක්ෂණයක් හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවකි. අපේ ගොවීන්ට තිබෙන බරපතළ ප්‍රශ්න වන්නේ තාක්ෂණය හා උපදේශනයයි. බොහෝ ගොවීන් තවත් වගා කරන්නේ පාරම්පරික හා ගතානුගතික ක්‍රමවේද මතය. නූතන තාක්ෂණික දැනුම ඔවුනට ලැබී නැත. තාමත් උපදෙස් ගන්නේ කෘෂි රසායන වෙළෙඳුන්ගෙනි. සියවස් ගණනක සිට පවතින ඒ තත්ත්වය වෙනස් කිරීම රජයේ වගකීමකි. රාජ්‍ය ආයතන රාශියක් තිබෙන අතර, ඒ ආයතනවල නිලධාරීන් හා සේවකයන්ද සිටින්නේ දස දහස් ගණනකි. කෘෂිකර්ම හා ගොවිජන සේවා ලෙස රට පුරා බිම් මට්ටමට පැතිරුණු දෙපාර්තමේන්තු දෙකකි. ගම් මට්ටමින් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ලෙස නිලධාරියෝ සිටිති. ආර්ථික සංවර්ධන නිලධාරියෝ ද ගම් මට්ටමෙන්ම සිටිති. එහෙත් ඔවුන්ගෙන් ගොවීන්ට සැලකිය යුතු සේවයක් ඉටු නොවෙයි. ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට පමණක් දොස් කීම වැරැදිය. ඔවුන් මෙහෙයවීම, ඔවුනට ඉලක්ක ලබාදීම දේශපාලන අධිකාරියේ වගකීම විය යුතුය. ඉහළින් මෙහෙයවීමක් නොවූ කළ ඉබාගාතේ යාම කොතැනත් සිදුවන දෙයකි.

දේශීය කෘෂිකර්මාන්තයට වින කටින තවත් කාරණයක් වී තිබෙන්නේ ප්‍රතිඅපනයන ක්‍රියාවලියයි. ගම්මිරිස් මේ සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම උදාහරණයයි. පසුගිය කාලයේ මහා පරිමාණයෙන් වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා අපේ ගම්මිරිස් සමඟ මිශ්‍රකර රට පැටවීම නිසා අපේ ගම්මිරිස් ගොවීන් වැටුණේ කබලෙන් ළිපටය. වියට්නාම් ගම්මිරිස් අපේ ගම්මිරිස් තරම් ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමක නැත. වියට්නාම් ගම්මිරිස් කිලෝවක් රුපියල් 400ක් පමණ වෙයි. එහෙත් ලංකාවේ ගම්මිරිස් කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 1000ක් පමණ වෙයි. මීට අවුරුදු තුනකට පමණ පෙරදී අපේ ගොවීන් ගම්මිරිස් අලෙවි කළේ කිලෝව රුපියල් 1200කට වැඩි මිලකටය. එහෙත් දැන් කිලෝවක මිල රුපියල් 600ටත් පහළය. ඒ නිසා ගම්මිරිස් ගොවීහු අනාථ වූහ. ඇතැම් ගොවීහු ගෝනි ගණන් නිවෙස්වල ගොඩගසාගෙන සිටිති. ඔවුනගේ ආර්ථිකය කඩා වැටිණි. සියල්ල එසේ සිදුවුණේ ඉහත කී වියට්නාම් ගම්මිරිස් මගඩිය නිසාය. ඒ මගඩියට සම්බන්ධව සිටින්නේ රටේ සාමාන්‍ය පුරවැසියන් නොවේ. දේශපාලනයට සම්බන්ධ පිරිසකි. ඒ අනුව එය වී තිබෙන්නේ දේශපාලන අනුග්‍රහයෙනි. දේශපාලන රැකවරණ මතය. ඒවා වැළැක්වීම රජයේ වගකීමක් විය යුතුය. මක්නිසාද යත්, එවැනි මගඩි වලින් රටේ ගොවීන්ටත්, ආර්ථිකයටත් බැට වඳින හෙයිනි. ගොවියා සහ ආර්ථිකය රැකගැනීම රජයේ වගකීමකි.

ගම්මිරිස් සම්බන්ධයෙන් පවතින තත්ත්වය තේ කොළ සම්බන්ධයෙන්ද පවතී. තේ වගාවටත්, කර්මාන්තයටත් යන වියදම ඉතා විශාලය. ඉන්දියාව හා කෙන්යාව වැනි රටවලින් තේ කොළ ආනයනය කර ඩුබායිහි පිහිටි මධ්‍යස්ථානයකදී කලවම් කර “සිලෝන් ටී” නාමයෙන් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ඒ ගැන තතු දන්නා අයට රහසක් නොවේ. මේ කාරණය මම පෞද්ගලිකව ලංකාවේ ඉහළම පුද්ගලයාට ද පැමිණිලි කළෙමි. එහෙත් අද වනතුරුත් ඒවා නැවැත්වීමට කිසිම පියවරක් ගෙන නොමැත. ලෝකයේ හොඳම තේ තිබෙන්නේ ලංකාවේය. එහෙත් මේ මගඩි නිසා වැනසෙන්නේ අපේ තේ වලට තිබෙන ඉහළ පිළිගැනීමයි. ලෝකයේ හොඳම ගම්මිරිස් සේම හොඳම කුරුඳු ද තිබෙන්නේ ලංකාවේය. එහෙත් දේශපාලන අනුග්‍රහයෙන් කෙරෙන මගඩි නිසා අපේ හොඳ නම මැකී වැනසී යයි. මේ සෑම මගඩියක්ම වන්නේ දූෂිත දේශපාලනයේ මහිමයෙනි. දූෂණය රටේ සෑම ක්ෂේත්‍රයකම පැතිරී තිබේ. ඇත්තෙන්ම එය පවතින්නේ ඉහවහා ගිය තත්ත්වයකය. මේ සකලවිධ දූෂණ නැතිකරන තුරු රට ගොඩගත නොහැකිය. දියුණු කළ නොහැකිය. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක් දැන් රටේ පවතී. වැරැදිකරුවන්ට තරාතිරම නොබලා ක්ෂණිකව දඬුවම් දෙන ක්‍රමයක් තිබිය යුතුය. ඇද ඇද කල් මරමර කොමිෂන් සභා පත් කරකර යන වර්තමාන ක්‍රමවේදය වහාම පිටු දැකිය යුතුය. එය ප්‍රශ්න යට ගසන ක්‍රමයක් මිස ප්‍රශ්න වලට පිළියම් යොදන ක්‍රමයක් නොවන බව දැන් සියලු රටවැසියෝ දනිති. එහෙයින් නීතිය හා යුක්තිය නිසි ලෙස ඉටු විය යුතුය. එසේම එය එසේ වන බව පෙනෙන්නට ද තිබිය යුතුය.

(Courtesy : Lankadeepa)

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...